මුලින්ම බදුලු ගමන යන්න බලන් ඉන්න අයගෙන් දහස් වරක් සමාව ඉල්ලනව ඒ වැඩේ තාම පටන් ගන්න බරි උනාට… මේ දවස්වල පොඩ්ඩක් කාර්ය බහුල නිසා තොරතුරු හොයල බලල ඒ ලිපි ලියන එක ටිකක් අමාරුයි… ඒත් පලමු කොටස මේ සතිය ඇතුලත පලවෙයි…
ඔන්න ඉතින් මේ දවස්වල මම ඉන්නේ ජීවිතේ කවදාවත් නොසිටි තරම් සතුටකින්…… ඒ මාස තුනක් විතර දෙගිඩියාවෙන් ගතකරපු කාලය අවසන් කරමින් පහුගිය බ්‍රහස්පතින්දා 2009 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වීමත් එම ප්‍රතිඵල සෑහෙන්න හොඳවීම නිසාය. ඉතින් මේ කඩඉම පසුකරල පාසල් ජීවිතය අවසන් කරන්න යන මොහොතෙ මගේ පාසල් ජීවිතයත්, උසස් පෙළ ජීවිතයත් ගැන ආපසු හැරී බැලීමක් කරන්නයි මේ හදන්නෙ.
මහරගම ජනාධිපති විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හොඳින් නිම කරපු මම පහේ ශිෂ්‍යත්වයත් ඉතා හොඳින් සමත් වෙලා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළුවුනේ තවත් හොඳින් ඉගෙනගෙන ඉහලට යන්න. නමුත් සිද්ද උනේ මාත් එක්ක ඉස්කොලේට ආපු අනිත් ළමයි ඉස්සරහට යද්දි මම පස්සට ගිය එක. ඒකටනම් ප්‍රධානම හේතුව කම්මැලි කම. මේ රෝගයනම් මට දෙවෙනි පාර උසස් පෙළ කරද්දිවත් නවත්ත ගන්න බැරි උනා. ඉස්කොලෙ වැඩත් ඕනැවට එපාවට කරපු මම ටියුෂන් කියන ජාතියට දහය වසර ඉවරවෙනකම් අඩිය තිබ්බෙ නෑ. එකොලහ වසරෙදිත් ගියෙ ඉලෙක්ට්‍රොනික් විෂයටයි ඉංග්‍රිසි විෂයටයි විතරයි. එකොළහ වසරෙ මුලදි ඉඳන් සිංහල සහ සමාජ අධ්‍යනය විෂයන් දියුණු මට්ටමකට ගෙන්න ගත්ත. ඇත්තටම මට ඒ විෂයන් දෙක බැරිකම නෙවෙයි තිබුනෙ. කරුණු දැන සිටියත්, ඒවා තෝරා බේරා ගෙන පිලිතුරු ලියන්න බැරිකමයි තිබ්බෙ. විද්‍යාව තමා මට එපාවෙලාම තිබ්බෙ (ඒකට හේතුවනම් දන්නෙ නැහැ). සාමන්‍ය පෙළ පන්තියෙදි ගණිත ගුරුවරු කීපදෙනෙක් ම මාරු වෙවි ගිහින් අළුත් ආව නිසා ගණිතයනම් අච්චාරුවක් උනා. කොහොමහරි පොඩි කාලෙ ඉඳල ගණිතයට තිබ්බ ආසව නිසා අමාරුවෙන් වැඩ කරල සාමන්‍ය පෙලට මූණ දුන්න 2005 දෙසැම්බර් මාසේ. 2006 අප්‍රේල් මාසෙ ප්‍රතිඵල ආව. ඒ 6යි බී 2යි, බී තියෙන්නෙ විද්‍යාවටයි, පෙරදිග සංගීතෙටයි. මේ ප්‍රතිඵල දැක්කම හිතුන පාසලේ වැඩ ටික හොඳින් කලානම් කිසි විෂයකට ටියුෂන් නොයා ඒ. 8ක් ගන්න එක එච්චර අමාරු නැහැ කියල. ඒත් ඉතින් එතකොට කෝච්චිය ගිහින් ඉවරයි.
ඔන්න නියම සෙල්ලම පටන් ගත්තෙ ඊට පස්සෙ…උසස් පෙල! මං කලින් කිව්ව වගේම මගේ ආසම විෂය ගණිතය, ඉතින් උසස් පෙළටත් ගණිත විෂය ධාරාව තෝරාගත්ත. ඒත් ප්‍රශ්නෙ උනේ සංයුක්ත ගණිත විෂය කරන්න තිබ්බෙ මට සාමන්‍ය පෙළදි ග්‍රීක් වෙලා තිබ්බ රසායන විද්‍යාව එක්කයි. මුල ඉඳන්ම එච්චර ප්‍රගතියක් විෂයන් තුනේම තිබුනෙ නැහැ. කරන්නන් වාලෙ කරා.. ඒ අස්සේ තවත් වැඩක් උනා වර්ල්ඩ් කප් ෆයිනල් එක අස්සේ ගුවන් කොටි කොළඹට ප්‍රහාරයක් එල්ල කරද්දි අනංගයත් මට ප්‍රහාරයක් එල්ල කරා.. දැන් වැඩ ගොඩයි. ඒ අතරෙ මං මගේ රසායන විද්‍යා අතිරේක පන්තිය මාරු කලා…ඒ පන්තියෙදි මුලින්ම කරේ කාබනික රසායනය. ගොඩක් අය කියන්නෙ ඔර්ගනික් පටන් ගත්තම තමා කෙමිස්ට්‍රි එපා වෙන්නෙ කියල. එත් මටනම් ඒකෙ අනික් පැත්ත. හොඳින්ම වැදුනෙ කාබනිකය. එතන ඉඳන් රසායන විද්‍යාව තමා මගේ ප්‍රියතම විෂයය. නමුත් අනික් විෂයන් දෙකට තිබුනෙ අඩු උනන්දුවක්. ඉතින් ඔය විදිහට වැඩ කරල 2008 දි මං ගත්තෙ මේ වගේ ප්‍රතිඵලයක්.
රසායන විද්‍යාව – A
භෞතික විද්‍යාව – B
සංයුක්ත ගණිතය – C
සාමාන්‍ය ඉංග්‍රීසි – B
සාමාන්‍ය පොදු පරීක්ෂණය – 85
z අගය – 1.5589
දිස්ත්‍රික් කුසලතාව – 546
දිවයිනේ කුසලතාව – 2000
ඉතින් 2009 අවුරුද්ද ආරම්භ කලේ කඩවුණු බලාපොරොත්තු ඇතුව. ඒ අතරේ ප්‍රථම ප්‍රේමයටත් කෙල උනා. ඔහොම ඉන්නකොට අපේ සුදාරක මලය මට මෙන්න මේ බ්ලොග් පෝස්ට් එක පෙන්නුව. ඒක දැක්කමනම් හිතට සෑහෙන ධෛර්යයක් ආව. මගේ වටේ හිටපු හුඟක් දෙනා කිව්වෙ දෙවෙනි පාරත් කරන්න ඒ අතර විශ්ව විද්‍යාලෙට අයදුම් කරන්න, අවස්ථාව අනුව විශ්ව විද්‍යාලෙට යනවද කියල තීරණය කරන්න කියල. මාත් ඒකට තම කැමති උනේ. පරහකට තිබුනෙ මම 2008 අගෝස්තු වලින් පස්සෙ පොතක් පතක් අල්ලවත් නොතිබ්බ එක. පලවෙනි පාර කරපු ගොඩක් දේවල් අමතකයි. ඒත් ඉතින් අමාරුවෙන් ආයෙත් පාඩම් වැඩ ටික කරගත්ත. උදේ 7 ඉඳන් දවල් කෑම වෙනකන් පාඩම් කරල හවස ටිකක් නිදාගත්ත (මේකනම් සෞඛ්‍යයට අහිතකරයි ). ඊට පස්සෙ හවස 5.30 විතර ආයෙ වැඩ කරල රෑට කන ගමන් මානුෂීය මෙහෙයුමත් බලල ආයෙත් නිදිමත හැදෙනකම් වැඩ කලා…හැබැයි ඊටත් වඩා පිස්සු කෙලිය…. මැයි 22 වෙනිදා ක්ලාස් එකකුත් කට් කරල බොරැල්ලෙ ඉඳන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයට පෙලපාලිත් ගියා. දේශපාලන පිස්සුව නිසා විභාගෙ කටේ තියාගෙන අගොඅස්තු 9වෙනිදා ඌව පලාත් සභාවෙ ඡන්ද ප්‍රතිඵල විකාශයත් බැලුව. උදේ 4.00 වෙනකම් ඒක බලල උදේ 7.00 ට අවසන් ගණිත පනිතියටත් ගියා. ඔය පිස්සු වැඩ අතරෙම ජූනි මාසෙ අන්තිමට නැවත සමීක්ෂණ ප්‍රතිඵල ආවා. මාත් විෂයන් දෙකකට නැවත සමීක්ෂණ ඉල්ලුම් පත්‍ර දැම්මත් ප්‍රතිඵල වෙනස් වෙලා තිබුනෙ නැහැ. ඒත් අනෙක් අයගෙ ප්‍රතිඵල වෙනස් උන නිසා Z අගය 0.0039 කින් ද දිස්ත්‍රික් කුසලතාව 1 කින් ද දිවයිනේ කුසලතාව 15 කින් ද පහල බැහැල තිබ්බ. මටනං මේ වෙනස්වීමේ බලපෑමක් නොතිබ්බට මේකන් සතුටුදායක මෙන්ම කනගාටුදායක ප්‍රතිඵල ලබපු ගොඩක් සිසුන් සිටි බව මට ආරංචි උනා. මං ඉල්ලුම් කරල තිබ්බ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට මාව තේරිලා තිබ්බ.. අපේ පියතුමා නං කිව්වෙ “මෙ කෙලින පිස්සු වල හැටියට දෙවෙනි පාර පලවෙනි පාරටත් වඩා අනාගන්නව, ඊට වඩා හොඳයි කැම්පස් යන එක” කියල… ඒත් විභාගෙට තිබ්බෙ සති දෙක තුනයි… ඒ නිසා ඕනෙ එකක් වෙන්න කියල ආයෙත් විභාගේට ලියන්න තීරණය කලා..
ඉතින් කොහොම කොහොම හරි විභාග දවසත් ආව. පුදුම වැඩේ කියන්නෙ පලවෙනි ප්‍රශ්න පත්‍රය උන සංයුක්ත ගණිතය 1 පත්‍රයේ මං අනුමාන කරපු ප්‍රශ්න කොටස් දෙකක්ම ඇවිත් තිබ්බ එක. මාට මාර සතුටුයි එ ගැම්මෙන්ම විභාගෙට ලියනව කියල හිතුවට සංයුක්ත ගණිතය 2 පත්‍රය 1 වෙනි එකටත් හරියන්න අන්ත අමාරු කරල තිබ්බ. අමාරුවෙන් ඒකත් කරගත්ත. කිව්ව වගේම භෞතික විද්‍යාව බහුවරණ පත්‍රය ටිකක් අනාගත්ත, රචනා ප්‍රශ්න පත්‍රය ලේසි උන නිසා හිතට සැනසිල්ලක් ආව. රසායනය නම් මගේ ලේ වලටම බැහැල තිබ්බ නිසා අමාරුවක් නැතුව කරගත්ත. ඉතින් ඊට පස්සෙ පහුගිය මාස දෙක තුනේ හිටියෙ හිතේ ගින්දරින්… කලින් පාරට වඩා ප්‍රතිඵල වැඩි උනේ නැත්තම් පාරෙ බැහැල යන්න බැරිවෙනව… ඒත් මටත් ටිකක් අදහගන්න බැරිවෙන තරමේ ප්‍රතිඵලයක් නොවැම්බර් 26 වෙනිදා නිකුත් උනා.
රසායන විද්‍යාව – A
භෞතික විද්‍යාව – B
සංයුක්ත ගණිතය – B
සාමාන්‍ය ඉංග්‍රීසි – B
සාමාන්‍ය පොදු පරීක්ෂණය – 90
z අගය – 1.9486
දිස්ත්‍රික් කුසලතාව – 201
දිවයිනේ කුසලතාව – 777
ප්‍රතිඵල ලේඛනයේ ඉහල කොටසේ එතරම් වෙනසක් නොපෙනුනත් පහල කොටසේ තියෙන වෙනස දැක්කම මගේ හිත හුඟක් නිදහස් උනා. ඒත් ඒ වෙලාවෙත් මට හිතුනේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලේඛනය දැක්කම හිතුන දේට ආසන්න දෙයක්. ඒ ගණිතයට කෙසේ වෙතත් භෞතික විද්‍යාවට නම් A එකක් අරන් කුසලතාවය (Rank) තව ඉහල දාගන්න තිබුණයි කියන එක. කමක් නෑ…මේ හොඳටම ඇති! ගොඩක් අය කියනව මට ඉංජිනේරු විද්‍යාව (MPR) හදාරන්න ඉඩ ලැබෙයි කියල. නමුත් කොළඹ දිස්ත්‍රික් ප්‍රතිඵල වල අඩුවීක්මක් තිබෙන නිසා සමහරු ඒ ගැන සැක පහල කරනව. ගිය පාර කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉංජිනේරු විද්‍යාවට (MPR) සුදුසුකම් ලැබූ අවසන් ශිෂ්‍යයාගේ දිස්ත්‍රික් කුසලතාව 248. ඒත් මේ පාර කොළඹින් යන්නෙ ඊට අඩු ප්‍රමාණයක්. ඒක 210 ක් 220ක් පමණ වෙයි කියල තමා කියන්නෙ. මමනම් ඉංජිනේරු විද්‍යාව (MPR) , භූ ඉංජිනේරු විද්‍යාව (EM) සහ ප්‍රවාහන හා සැපයුම් කලමණාකරණය (Transport and Logistics Management) සඳහා ඉල්ලුම් කරල, මාව තෝරගන්න පාඨමාලාව තීරණය කිරීම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට බාරදීල, උසස් අධ්‍යාපනයට හා අනාගතයට වැදගත් යමක් ඉදිරි මාස කිහිපයෙහිදි කරනව. සෑහෙන කාලයක් මගේ හිතේ තිබ්බ ආසාවක් තමයි කටුබැද්ද විශ්ව විද්‍යාලයට යන එක… ඉහත සඳහන් කල පාඨමාලා වලින් මොන එකකට තේරුනත් මම යන්නේ කටුබැද්දට… ඒ නිසා මං කවදාවත් නැති තරම් සතුටු නොවිය යුත්තේ ඇයි???
මේ හැමදේම ලබාගන්න උදව් කරපු අය මේ වෙලාවේ මතක් කරන්නම ඕනෙ. මුලින්ම මාව මේ ලොකේට බිහි කරල තමන්ගේ නෙත් දෙක පියවෙනකම්ම ආදරෙන් මාව හදා වඩාගත් අම්මාවත්, අම්මා නොමැති වුවද ඒ අඩුව කිසි ලෙසකින්වත් අපට දැනෙන්නට ඉඩ නොදී අපගේ සෑම වගකීමක්ම කරටගත් තාත්තාවත්, මගේ හොඳම මිතුරන් වී මා පසුපසින් සිට සැමදා දිරිදුන් අයියාවත් අක්කාවත් මතක් කරනව. එක වසරේ සිට සාමන්‍ය පෙළ දක්වා පාසලේ සහ අතිරේකව ඉගැන්වූ සියලු ගුරුවරුන්ද, උසස් පෙලදී අපේ පන්ති භාරව සිට අපිට දෙවෙනි පියෙක් බඳුවූ කේ.ආර්. සුගතදාස ගුරුතුමාවත්, පාසලෙදී කිසිඳු අඩුවක් නැතිව ගුරුහරුකම් කල රෝහිණී පනන්වල, ජයන්ත සිල්වා, පී.කේ.පෙරේරා, උපුල් පෙරේරා සහ වයි.එම්. ජයසූරිය යන ගුරු මහත්ම මහත්මීන්ටත් මගේ උපහාරය පුද කල යුතුය. තවද උසස් පෙල උපකාරක පන්තිවලදී මට ගුරුහරුකම් කල දෙව්රුවන් අල්විස්, ජගත් පටබැඳිගේ, ඩී.ඩබ්. දංගල්ල, සඳසීලි අල්විස්, සුනිල් මෙන්ඩිස් සහ ශ්‍රීනාත් වික්‍රමසිංහ යන ගුරු මහත්ම මහත්මීන්ටත් මගේ ගෞරවය හිමිවේ. අවාසන වශයෙන් මා වටා සිටිමින් මට නන් අයුරින් උදව් කල නෑදෑ පිරිස සහ මාගේ මිතුරු මිතුරියන් සියළුදෙනාම හදපිරි ආදරයෙන් මතක් කර සිටිනව.