බදුලු දුම්රිය ගමන 2 – බලන දුර්ගය මැදින් සෙංකඩගල පුරවරයට

සෑහෙන කාලෙකට පස්සෙ අපි හම්බවෙන්නෙ… පහුගිය දවස්වල රටේ තිබ්බ උණුසුම් දේශපාලන වාතාවරණය නිසා මාත් ඒ පැත්තටම ඇදිල ගිහින් හිටියෙ. ඒකයි දෙවැනි ලිපිය ලියන්න ප්‍රමාද උනේ.

ඔන්න ඉතින් අපි අපේ ගමනෙ අමාරු හරිය පටන් ගන්න යන්නෙ. මෙතෙක් වෙලා අපි ආවෙ තැනිතලා මාර්ගයක්, ඒත් මෙතැන ඉදන් ඇරඹෙන්නේ නැග්මක්. ඒකත් ඉතා දුෂ්කර අඩි 1 : 44 නැග්මක්. ඒ වගේම දැන් තමා ගමනේ දර්ශනීය කොටස පටන්ගන්නෙ. ඒත් රඹුක්කන දුම්රිය ස්ථානය පසු කරනවාත් සමග අපිට දකින්න ලබෙන්නෙ ටිකක් හිතට බයක් ගෙන දෙන දෙයක්. 2002 වසරේ ජනවාරි 15 වෙනිදා උදෑසන නුවර සිට කොළඹ කොටුව බලා පැමිණි නගරාන්තර දුම්රියේ තිරිංග ක්‍රියාත්මක නොවීම නිසා රඹුක්කනට මදක් එපිටින් දුම්රියේ මැදිරි හයම කුඹුරකට පෙරලී ගියා. එම අනතුරින් 15 දෙනෙකු පමණ මියගියා. රඹුක්කන දුම්රිය පල පසු කරනවාත් සමගම විනාශ වී ගිය එම මැදිරි හය ඔබට දැකගත හැකියි. රඹුක්කන සිට ඉහලට කොටසේ ඇති තවත් විශේෂත්වය වන්නේ මෙතැන් සිට දුම්රිය මග තනි මාර්ගයක් වීමයි. තවද වර්ණ සංඥා මගින් දුම්රිය පාලනය කිරීම මෙතැන් සිට ඉහලට සිදු නොකෙරෙන අතර ඒ වෙනුවට තනි මාර්ග සඳහා විශේෂිත වූ ටැබ්ලට් සංඥා ක්‍රමය භාවිතා කරයි. කොළඹ සිට පැමිණෙන ඔබට රඹුක්කන පසුකරනවාත් සමග ගමනේ පැහැදිලි වෙනසක් අත්දැකීමට පුළුවන. මෙතෙක් වේලා ජනාකීර්ණ නගර මැදින් දිවුණු දුම්රිය මග එක්වරම වඩා නිසසල කඳුකර හා කැලෑබද පෙදෙසකට ඇතුළුවේ. දේශගුණයේ ද වෙනසක් ඇඟට දැනේ. මෙතෙක් ඉතා වේගයෙන් ගමන් කල දුම්රිය ඉතා සෙමින්, අපහසුවෙන් කන්ද නැගීම අරඹයි. දුම්රිය එන්ජිමේ මුළු ශක්තිය යොදා කන්ද නගින හඬ ඔබට පැහැදිලිව ශ්‍රවණය කල හැක.

රඹුක්කන පසුකර කැලෑබද ප්‍රදේශයක් මැදින් කි.මි. 4ක් පමණ ගිය තැන එක ළඟ පිහිටි දිගින් අඩු බිම්ගෙවල් දෙකක් හමුවේ. ඒත් සමගම වාගේ ඔබට හමුවන්නේ කඩිගමුව දුම්රිය පලයි. කඩිගමුවේ සිට තවත් කි.මි. 4ක් ගිය පසු ගංගොඩ නමින් කුඩා දුම්රිය පලක් හමුවේ. මෙම දුම්රිය පලවල් අතරද එක් බිම්ගෙයක් තිබේ. ගංගොඩ පසුවූ විට ගමනේ චමත්කාරය තවත් වැඩිවේ. දුම්රිය මග අලගල්ල කන්ද මැදින් දිවෙන කැපුමක් මත ඉදිව තිබේ. ඉහලට ගමන් කරන ඔබට වම් පසින් දිස්වන්නේ විශාල අලගල්ල පර්වතයයි. දකුණු පසින් ඔබට දුම්රිය මග අසලින්ම ගැඹුරු ප්‍රපාතයක් දිස්වන අතර ඈත බැලූවිට උතුවන් කන්ද සහ බතලේගල දිස්වේ. ගංගොඩ ට පසු තවත් බිම්ගෙවල් දෙකක් හමුවේ. ඉන් දෙවැනියට හමුවන මොරගල්ල බිම්ගෙය ලංකාවේ දිගින් දෙවැනි තැනට පත්වේ. මීටර 413 දිග එම බිම්ගෙය මහනුවර දක්වා දුම්රිය මාර්ගයේ හමුවන දිගම බිම්ගෙයයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙහි කැණීම් කටයුතු දෙපසින්ම සිදුකිරීමයි. 1863 වසරේදී ආරම්භ කල කැනීම් කටයුතු අවසන් වී ඇත්තේ 1866 වසරේදීය. මීලඟට ඔබට හමුවන්නේ අතීතයේදී අලගල්ල ලෙසින් හැදින්වූ ඉහල-කෝට්ටේ දුම්-රිය ස්ථානයයි. මෙම ගම්මානය අලගල්ල කන්ද මධ්‍යයේ පිහිටන අතර දුම්රියෙන් හැර වෙනත් වාහනයකින් මෙහි ලඟාවීම අපහසුය. එම නිසා මෙම ගම්වාසින්ගේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය වන්නේ දුම්රියයි. ඉහල-කෝට්ටෙට පසුවද ඔබට මෙතෙක් දුටු චමත්කාරජනක දසුන් තවදුරටත් දැක ගත හැක. අප අලගල්ල කන්ද වටා පැමිණ අති නිසා දැන් ඔබට අලගල්ල පර්වතය දිස්වන්නේ ඔබේ දකුණු පසිනි. මෙම ප්‍රදේශයේදී දුම්රිය මග ඉදිව ඇති බිම් තීරුව ඉතා පටුවන අතර එක්පසෙකින් කඳු පර්වතයක් හා අනෙක් පසින් ගැඹුරු ප්‍රපාතයක් මැදින් එම පටු බිම් තීරුවේ යන ගමන තරමක් ත්‍රාසජනකය.ඉහල-කොට්ටේ සහ බලන දුම්රිය පලවල් අතර බිම්ගෙවල් තුනක් ඇත. බලනට පසුවද බිම්ගෙවල් තුනක් හමුවන අතර කඩුගන්නාවට ලඟාවීමට පෙර තවත් සුවිශේෂී ස්ථානයක් ඔබට හමුවේ. එය සිංහ මුඛයයි (Lion Mouth). පර්වතයක මුහුණත කපා බිම්ගෙයක ආකාරයෙන් නිමකර තිබුණද මෙය ප්‍රපාතය දෙසින් විවෘතව පවතී. එම නිසා ඈතට සිංහයකු තම මුව විවර කරගෙන සිටින ආකරයෙන් දිස්වේ. ඊට නුදුරින්ම අපට කඩුගන්නාව දුම්රිය පල හමුවන අතර එහිදී කොළඹ-නුවර මහාමාර්ගය ද දුම්රිය පල අසලින්ම වැටී තිබේ. කඩුගන්නාව දුම්රිය පල කොළඹ සිට සැතපුම් 65ක් දුරින් හා මුහුදු මට්ටමින් අඩි 1690ක උසින් පිහිටයි.

කඩුගන්නාව පසුකර දුම්රිය මග නුවර පාරට සමාන්තරව එහෙත් එයට තරමක් ඈතින් ගමන් කර පිලිමතලාව දුම්රිය පලට ලඟවේ. පිලිමතලාවට පසු දුම්රිය මග නුවර පාර හරහා ගොස් ලංකාවේ ඉතා ප්‍රසිද්ධ දුම්රිය මංසන්ධිය වන පෙරාදෙණිය හන්දියට පැමිණේ. මෙම මංසන්ධියේ සැකස්ම පිලිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට මෙම ඡායාරූපය නරඹන්න. මෙහි දැක්වෙන ආකාරයට කොළඹ – මහනුවර දුම්රිය මාර්ගයට දකුණු පසින් පහල දෙසට බදුලු මාර්ගය විහිදී තිබේ. බදුලු මාර්ගය පහල දෙසට විහිදී ඇති නිසා කොළඹ සිට කෙලින්ම බදුල්ලට ( හෝ විරුද්ධ අතට) ගමන් කරන දුම්-රිය හැරවීමකින් තොරව ඇතුළු කිරීමට අතුරු මාර්ගයක් දුම්රිය ස්ථානයට මෙපිටින් ඇත. 2008 වසරේ අග භාගයේදී මෙම මාර්ගය සඳහා ද අළුත් වේදිකාවක් ඉදි කරන ලදි. එම නිසා පේරාදෙනිය ප්‍රධාන දුම්රිය වේදිකාවට දුම්රිය ගෙන නැවත පසුපසට ගමන් කර අතුරු මාර්ගය හරහා කොළඹට හෝ බදුල්ලට යාම වෙනුවට කෙලින්ම එම වේදිකාව භාවිතා කල හැක. පෙරාදෙණිය දුම්රිය ස්ථානය 1867දී ඉදිවී ඇති අතර එහි පලමු ගොඩනැගිල්ල තවමත් පවතී (මෙම ඡායරුපය බලන්න ). පෙරාදෙණිය පසු කරමින් මහනුවර දෙසට කෙටි දුරක් යනවිට මහවැලි ගඟ තරණය කිරීමට සිදුවේ (පාලමේ ඡායරූපයක් සඳහා මෙතැන බලන්න ). මහවැලිය පසුකල සැණින් ඔබට සරසවි උයන දුම්රිය ස්ථානය මුණගැසේ. සුන්දර පෙරාදෙණිය සරසවියට මායිම්ව පිහිටා තිබෙන නිසා මෙම දුම්රිය පලට එම නම ලැබී ඇති අතර අතීතයේදී මෙය පෙරාදෙණිය නව දුම්රිය පල ලෙසින් හඳුන්වා තිබේ. ඉන් පසු ගැටඹේ ප්‍රදේශයේදී නැවතත් දුම්රිය මග මහා මාර්ගය හරහා ගොස් මහා මාර්ගයට ඉතා ආසන්නයෙන් ඊට වම් පසින් තරමක දුරක් ගමන් කරයි. ඉන්පසු මහා මාර්ගයට මදක් ඈතින් ගමන් කර මහනුවර දුම්රිය පලට ළඟාවේ.

කොළඹ සිට සැතපුම් 74 ක දුරකින් හා මුහුදු මට්ටමේ සිට අඩි 1600 ක උසින් පිහිටි මහනුවර දුම්රිය පල, මහනුවර දෙයියන්ගේ වෙල නම් ප්‍රදේශයේ පිහිටයි. 1867 දී උඩරට හා පහත රට යාකරමින් මෙම දුම්-රිය පල ඉදිවීම ලංකා ඉතිහාසයේ වැදගත් සිදුවීමකි. කවදාවත් වෙරළක් නොදුටු උඩරට සාමන්‍ය වැසියන්ට මෙමගින් පැය කිහිපයකින් ගාලු මුවදොරට ලඟාවීමට හැකිවිය. පසුකලකදී මෙතැන් සිට මාතලේ දක්වාද දුම්රිය මගක් ඉදිවුණි. මහනුවර ඉතා කාර්ය බහුල දුම්රිය පලකි. කොළඹට හා බදුල්ලට දිගු ගමන් සේවා මෙන්ම මාතලේ, නාවලපිටිය හා පොල්ගහවෙල දක්වා ප්‍රාදේශීය දුම්රිය සේවා ද ක්‍රියාත්මක වේ. මගීන්ට නවාතැන් පහසුකම් සඳහා නිදන කාමරද මෙම දුම්රිය ස්ථානයේ ඇත. දුම්රිය ස්ථානාධිපති මගින් ඒවා වෙන්කරවා ගත හැක.

නුවර සිටින අප මීලඟ කොටසේදී නැවත පෙරාදෙණියේ සිට බදුල්ල දෙසට ගමන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එම කොටස ඉදිරි දිනවලදී පල කිරීමට නියමිතයි. ඔබේ අදහස් උදහස් සතුටින් බලාපොරොත්තු වෙමි.

මගේ මිතුරන් තිදෙනෙකු කඩුගන්නාවේ සිට රඹුක්කන දක්වා දුම්රිය මග ඔස්සේ පයින් සිදුකල ගමනක් ගැන විස්තර පහත සබැදුමෙන් ලබාගත හැක.
http://www.srilankanlocos.com/images/ifthar/kdg/kdg1.html

Advertisements

6 thoughts on “බදුලු දුම්රිය ගමන 2 – බලන දුර්ගය මැදින් සෙංකඩගල පුරවරයට

  1. ඇත්තටම කියනවානම් තූර්ය මේ සටහන ලියලා තියෙන විදිය දැක්කහම මටත් පොඩි දෙයක් කියන්න හිතුණා. බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට ලොකේ තියෙන ලස්සනම දුම්රිය මාර්ග පහ අතරට ලංකාවේ උඩරට මාර්ගයත් අයත්. විදේශිකයින් විශාල ප්‍රමාණයක් මේ බව දැනගෙන ලංකාවට ආවත් අපේ රටේ සමහර උදවියට මේක ගැන අවබෝධය අඩු බව තමයි මට නම් පෙනෙන්නේ. ඉතින් මම මේ සටහන කියවන හැමෝටම ආරාධනා කරන්න කැමතියි දුම්රියෙන් බදුල්ලට හරි මහනුවරට හරි සංචාරය කරලා මේ අත්දැකීම සියැසින් ම විඳගන්න කියලා.

  2. නිරීක්ෂණ මැදිරියක යන්න පුළුවන්නම් වඩාත් හොඳයි. වැඩියම ලස්සන පේරාදෙණියෙ ඉඳන් බදුල්ලට තියෙන ටික තමා. (දුම්රිය මාර්ගයේ පයින් ගමන්ගන්නන්ට එරෙහිව නඩු පවරනු ලැබේ.) 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )