බදුලු දුම්රිය ගමන 5 – අහස් නවයේ පාලම මතින් ගමනාන්තය කරා

අපි දැන් ඇවිත් තියෙන්නෙ අපේ ගමනේ අවසාන කොටසටයි. මේ කොටස නම් එතරම් දිග එකක් නෙවෙයි. සුන්දර වූ හපුතලේ නගරයෙන් පිටත්වන අප කොළඹ – බදුල්ල මහා මාර්ගයට සමාන්තරව ගමන් කර ඉන්පසු එයින් වම් පස දෙසට හැරී දියතලාව නගරය දෙසට විහිදෙයි. දියතලාව නගරයේද දුම්රිය පලක් පවතින අතර එය පසුකරන දුම්රිය මග නැවතත් කොළඹ – බදුල්ල  මාර්ගය දෙසට ගමන් කර බණ්ඩාරවෙල නගරය ආසන්නයේදී එය හරහා ගොස් එහි දකුණු පසට පැමිණේ. බණ්ඩාරවෙල, අපේ ගමනේදී හමුවන ඉතා වැදගත් දුම්රිය ස්ථානයකි.දුම්රිය බණ්ඩාරවෙලට ලඟාවූයේ 1894 වර්ෂයේදීය. නමුත් දුම්රිය බදුල්ලට පැමිණීමට තවත් වසර 30කට අධික කාලයක් ගතව තිබෙනවා. බණ්ඩාරවෙලදී කොළඹ දෙසින් පැමිණෙන මගීන් විශාල ප්‍රමාණයක් බැස යන නමුත් දුම්රිය මාර්ගයේ තවත් සුන්දර දසුන් මෙයින් ඉදිරියට ඇත. බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය කොළඹ සිට සැතපුම් 160ක් දුරින් ඇති අතර මුහුදු මට්ටමේ සිට ඇති උස අඩි 4036කි.

බණ්ඩාරවෙලින් පසු නැවත දුම්රිය මාර්ගය මහා මාර්ගයෙන් වෙන්වී ගමන් කර මද දුරක් ගමන් කර කිණිගම නම් කුඩා දුම්රිය පලක් වෙත පැමිණේ. කිණිගම පසුකර තද වංගු සහිත මාර්ගයක ගමන් කරන දුම්රිය, හීල්-ඔය සහ කිතල් ඇල්ල නම් තවත් කුඩා දුම්රිය පලවල් දෙකක් පසුකරමින් ඇල්ලට ලඟාවේ. රවණා ඇල්ල ආසන්නයේ පිහිටා ඇති මෙම දුම්රිය පල විදෙස් සංචාරකයින් විශාල පිරිසකගේ ගමනාන්තයවේ. ඇල්ලට කොළඹ සිට ඇති දුර සැතපුම් 168කි. ඇල්ල් පසුකර ගමන් කරන දුම්රිය, අංක 40 බිම්ගෙය පසුකල සැණින් දුම්රිය මාර්ගයේ විශ්මිත නිර්මාණයක් මතින් දිවෙයි. එය නම් අහස් නවයේ (ආරුක්කු නවයේ) දුම්රිය පාලමයි. ඉතා උස්වූ පාලමක් වන මෙය තනි කලුගලින් නිමවා ඇත. ශතවර්ශකට පමණ ආසන්න ඉතිහාසයක් ඇති මෙම පාලම වටා ගෙතුණු ජනප්‍රවාද කිහිපයක්ම ඇත. එම විශ්මය දුටු ඔබ මීලඟට පැමිණෙන්නේ දුම්රිය තවත් ඉතා විශ්මකර්ම නිර්මාණයක් ඇති සුප්‍රසිද්ධ දෙමෝදර දුම්රිය පලටයි. දෙමෝදර සිට බදුල්ලට ගමන් කිරීමට දුම්රිය මග දකුණු පසට හැරිය යුතු නමුත් එම මාර්ගයේ ඇති භූ විෂමතාව නිසා එහි නැග්ම දුම්රියකට ඔරොත්තු නොදේ. එනිසා දුම්-රිය මග වම් පසට හැරී වක්‍රාකාර මාර්ගයක ක්‍රමයෙන් උස අඩු කරගනිමින් යමින් දුම්රිය පලට යටින් ඉදිවූ බිම්ගෙයක් හරහා ගොස් බදුල්ල දෙසට ගමන් කරන්නේ දුම්රිය ගැටයක් නිර්මාණය කරමිනි. මෙවැනි දුම්රිය ගැට කිහිපයක් ඉන්දියාව ඇතුලු අනෙක් රට්වවල ඇතත් අඩි 5 අඟල් 6 පුළුල් මාර්ග දුම්රිය මගක ඇති එකම දුම්රිය ගැටයයි. දෙමෝදර දුම්රිය පලට මහා මාර්ගයෙන් ලඟාවීමට නම් කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ දෙමෝදර මංසන්ධියෙන් හැරී කිලෝමීටරයක් පමණ දුර පැමිණිය යුතුය.

දෙමෝදර පසුකල විට දුම්රිය මග නැවතත් ක්‍රමයෙන් මහා මාර්ගය දෙසට ලංවී ඊට සමාන්තරව ගමන් කරයි. මීලඟට අපට උඩුවර නම් ඉතා කුඩා දුම්රිය පලක් හමුවන අතර එතැන් සිට සිට සැතපුම් 2ක් පමණ දුර ගිය තැන හාලි-ඇල නගරය හමුවේ. එහි දුම්රිය ස්ථානය නගරයට මදක් ඈතින් පිහිටා තිබේ. මීලඟට ඇත්තේ මෙම දුම්රිය මාර්ගයේ අවසන් කොටස වන අතර එම කොටසේ එක බිම්ගෙයක්ද ඇත. මනරම් බදුලු ඔය අද්දරින් ගමන් කරන දුම්රිය මග එහි ගමනාන්තය වන බදුල්ලට ලඟාවේ. කොළඹ සිට බදුල්ලට දුම්රිය මගෙහි සම්පූර්ණ දුර සැතපුම් 181ක් වේ. මුහුදු මට්ටමේ සිට අඩි 2140ක් උසින් පිහිටි මෙම දුම්රිය ස්ථානයට නිල වශයෙන් දුම්රිය පැමිණියේ 1924 වර්ෂයේදීය. වර්තමානයේදී බදුල්ලෙන්ද කොළඹ බලා දුම්රිය තුනක් දිනපතා ක්‍රියාත්මකවේ. එවා නම් පෙ.ව. 5.45 ට පිටත් වන උඩරට මැණිකේ දුම්රිය, පෙ.ව. 8.45 ට පිටත්වන පොඩි මැණිකේ දුම්රිය හා සවස 6.00ට පිටත්වන රාත්‍රී තැපැල් දුම්රියයි. මීට අමතරව දහවල් 12.00 ට මහනුවර බලා මගී/බඩු මිශ්‍ර දුම්රියක් පිටත්වේ. බදුල්ල  සිට දුම්රිය මග තව දුරටත් දීර්ඝ කිරීම පිළිබඳ නොයෙක් අදහස් තිබුණත් තවමත් එවැනි දෙයක් ක්‍රියාවට නැංවී නැහැ.

ඉතින් කඳු හෙල් මතින් දිවුණු අපේ දුම්රිය ගමන මෙතැනින් නිම වෙනවා. මේ පිලිබඳව ඔබේ අදහස් උදහස් ගල් මුල් මල් ඔනෑම දෙයක් ඉතා කැමැත්තෙන් බලාපොරොත්තු වෙනවා. මෙම ලිපි පෙල සමග මෙතෙක් කල් රැඳී සිටි හා මෙම ලිපි පෙල ලිවීමට උනන්දු කල සෑම සියලු දෙනාටම මගේ හද පිරි ස්තූතිය පුද කරනවා.

Advertisements

6 thoughts on “බදුලු දුම්රිය ගමන 5 – අහස් නවයේ පාලම මතින් ගමනාන්තය කරා

  1. මේ උඩරට දුම්රිය මාර්ගය හරිම සුන්දරයි. බලන්න දේවල් එමටයි. ඉස්සර ඉස්කෝලේ නිවාඩු කාලේ අපි කෝච්චිපාරේ පයින් ට්‍රිප් යන පුරුද්දක් තිබුනා. බදුල්ලෙන් පටන් අරන් සෑහෙන දුර යනවා. පස්සේ ආපහු කෝච්චියේ ම එනවා.

    අපේ ඊලඟ ප්ලෑන් එක තිබුනේ බදුල්ලෙන් ඔහියට කෝච්චියේ ගිහින් එතැන ඉඳන් ආපස්සට රේල් පාර දිගේ පයින් එන්න. නමුත් ඒලෙවල් අවසානයත් එකක් අපේ සෙට් එක විසිරුනා. ඒ නිසා ඒ ගමනත් නැවතුනා. තාම ඒක ප්ලෑන් එකක් විතරයි.

    එහෙම ගමනක් යන්න නම් ඒකටම කියාපු සෙට් එකක් ඉන්න ඕන. ඒ සුන්දරත්වයට ආස කරන පිරිසක්. මොකද කියන්නේ, සෙට් වෙමුද?

    සංචාරය හොඳට ලියලා තියෙනවා. 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )